ඉතිහාසයේ කාබන් කොපි...............!


සමහර විද්වතුන්ගේ අදහස හා එකඟව යමින් ඉතිහාසයේ කාබන් කොපියක් වර්තමානය තුල දිගහැරෙමින් පවතින බව පිළිගනිමි. රටේ ඉතිහාසය පමණ නොව ලෝක ඉතිහාසය තුල වුවද මේ බව සනාත කිරීමට කරුණු කාරණා සොයා ගැනීම එතරම් අපහසු කාරණයක් නොවේ.

විසිවන සියවසේ මහා ප්‍රාඥයා යැයි සැලකෙන ඇල්බට් අයිස්ටයින්ගේ සාපේක්ෂතා වාදයට අනුව කරලියට පැමිණුනත් වසර 2500 කට වඩා එපිට ඉතිහාසයකදී බුදුන් වහන්සේ විසින් ලෞකික පරමාර්ථ වල සාපේක්ෂතාවය මැනැවින් විග්‍රහ කර තිබේ. 

ඒ අනුව කිසිදාක හොඳ-නරක, යස-අයස, ලාභ-අලාභ, නින්දා-ප්‍රසංසා, දුක-සැප, සුදු-කලු, උස්-මිටි යනාදී එකී මෙකී නොකී කිසිවක් ඉතිහාසය තුල දීර්ඝ කාලීනව අඛණ්ඩව ස්ථීරව පැවතී නැත. ස්වාභාව ධර්මයේ සාපේක්ෂතාවය මඟින් මේවා මනාව කළමණාකරණය කෙරී තිබේ. අනාගතය තුල වුවද එයම සිදුවනු නොඅනුමානය.

අපේ ඉතිහාසය සියුම්ව විශ්ලේෂණය කරනවිට උක්ත කාරණය මැනැවින් අවබෝධ කරගත හැකිය. "බැමිණිතියා සාය" වැනි මහා නියඟයන්ගෙන් බැට කෑ අප, ශෂ්‍ය සම්පත් වලින් ආඩ්‍ය වී නොනැවත අතිරික්ත නිෂ්පාදන අපනයනය කරන්නට තරම් සශ්‍රීක වූ "මහා පැරකුම් යුග" පසුකර පැමිණුනෙමු.

 බුද්ධදාස වැනි "රජ වෙදුන්" හා වෙනත් "වෙද රජුන්" මිනිසුන් පමණ නොව තිරිසනුන් පවා ගලවාගත් අවධි පසුකර "මැලේරියා" වැනි වදුරු වසංගත වලින් ලක්ෂ ගණන් මිනිසුන් අකාලයේ පොළොවට වැළලුන කාල සීමාවලට මුහුණ දුන්නෙමු.  

මෙපමණක්ද නොව, තව බොහෝ දේ ඇත. සැබෑ වීරයන් මරා දමා නිවටුන් වීරයන් කෙරුණු, අහිංසකයින් අංගුලිමාලයන් කර මිනීමරුවන් අහිංසකයින් කෙරුණු, ස්ත්‍රී දූෂකයින්, තක්කඩින්, මැරයින් සිල්වතුන් කර ගුණවතුන් සිල්වතුන් නින්දාවට ගර්හාවට ලක්කෙරුණු, සැබෑ උගතුන් විද්වතුන් පඬියන්ගේ මුව ගොලුකර පුස්සන් හොරණෑ බවට පත්කෙරුණු................ආදී නොයේක ආකාරයේ ජවනිකා ඉතිහාසය තුලින් මතුකර ගත හැකිව තිබේ.

"වර්තමානය ඉතිහාසයේ ෆොටෝ කොපියක්" යැයි කිවහැක්කේ මේ කරුණු කාරණා මනාව ගලපා ගැනීමෙනි. ඉතිහාසයේ රඟදැක්වූ සියලු චරිත අද සමාජයෙන් ද අපට හඳුනාගත හැකිය. මේ මොහොතේ අවශ්‍යව ඇත්තේ ඉතිහාසය තුල තම තමන් නියෝජනය කළ භූමිකා මැනවින් හඳුනාගෙන වර්තමාන භාවිතාව තුල අනාගත කාබන් කොපියේ හැකි තරම් වැරදි නිවැරදි කිරීමේ කාර්යභාරයයි.

ඒ ඓතිහාසික වගකීම ද "සාපේක්ෂ" වනු ඇත.


Comments

Popular posts from this blog

හමස් පෙට්ටිය

කැකුළු තනේ අල්ලන්නේ පොඩි වෙන්ඩ.....!

මිනිසා දේශපාලන සත්වයෙකි.......! එසේ නම් සරසවි ශිෂ්‍යයා?