මිනිසා දේශපාලන සත්වයෙකි.......! එසේ නම් සරසවි ශිෂ්‍යයා?




"මිනිසා ලිංගික සත්වයෙක්" යැයි කියූවේ සිග්මන් ප්‍රොයිඩ්ය. එතෙක් කරලියේ පැවතුන පිළිගැනීම වූයේ "මිනිසා දේශපාලන සත්වයෙක්" ය යන ඇරිස්ටෝටල් විසින් ඉදිරිපත් කරන ලද අදහසයි. මේවා හරි හෝ වැරදි විය හැකිය. එය වෙනම ම කාරණයකි.



කෙසේ වෙතත් දේශපාලනය යනු මසට සම සේ, ගසට පොත්ත සේ මානවයාගේ ජීවිතය හා සබැඳුන ක්‍රියාදාමයකි. "අපි ඉපදෙන්නත් දේශපාලනය බලපානව කියලයි මට හිතෙන්නේ" යනුවෙන් අප මිතුරු ඔසී පවසනවා ඇත්තේද එයම විය යුතුය. එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක තමන් කැමති දේශපාලන මතවාදයක් දැරීම සඳහා සෑම පුරවැසියෙකුටම සමාන අයිතිවාසිකමක් තිබිය යුතුය. විශ්වවිද්‍යාල සිසුන් එයින් වියුක්තද?



රටක ජීවනාලිය ලෙස සැලකෙන්නේ තරුණ පරපුරයි. ඔවුන්ගේ ජවය හා ශක්තිය මෙන්ම නැවුම් මතවාද හා ආකල්ප ද රටේ සංවර්ධන ව්‍යාපෘතීන් කෙරෙහි සෘජුව බලපායි. විශ්වවිද්‍යාල තුල සිටින්නේද එවන් තාරුණ්‍යයක අග්‍රගන්‍ය එලයක් නොවන්නේද? ඔවුන් ළදරුවන් නොවේ. රටක දේශපාලන තීන්දු තීරණ කෙරෙහි ශක්‍රීයව දායකවීමේ ශක්‍යතාවයක් හා පරිචයක් මෙන්ම අයිතියක්ද ඔවුනට ඇති බව මාගේ විශ්වාසයයි.



මට දැනෙන අනෙක් වැදගත්ම කරුණ නම් ධනවාදී හෝ සමාජවාදි හෝ සංවර්ධනයවූ හෝ නොවූ වෙනත් කිසිම රටක අධ්‍යාපන ක්‍රමවේදයන් සමග අපගේ අධ්‍යාපනය සංසන්දනය නොකල යුතු බවයි. මන්ද ඒ සියල්ලෙහි ධනාත්මක හර පද්ධතීන් ඇසුරු කරගනිමින් නිර්මාණයවූ, අපගේ සමාජ සංස්කෘතික වටපිටාවට උචිත අපටම අනන්‍ය වූ අධ්‍යාපන ප්‍රතිපත්තියක් ගැන අප සිහින දැකිය යුතු වන බැවිනි.



දුක්ඛ දායක ගැටලුව ඇත්තේ මෙතැන නොවේ. සමාජ ආගමික හා සංස්කෘතික ආදී සියලු වටිනා දේහයන් තුල ඉහඳ තබා,පරිහානියේ දොරටුව වෙත අපරට රැගෙන යන වර්තමාන බඩගෝස්තරවාදී දේශපාලනික චින්තනයන්ගේ ඇති පසුගාමීත්වය තුලයි. එවන් වඳ පීදුන සමාජ සංස්ථාවක් තුල නූතන විශ්විද්‍යාල තාරුණ්‍යයද මං මුලාවී ඇත. දේශද්‍රෝහී දේශපාලන ව්‍යාපාරයන්ගේ පටු උවමනා එපාකම් වෙනුවෙන් කඩේ යෑමට ඔවුනට සිදුව ඇත්තේ එබැවිනි.



පැහැදිලිව එක් දෙයක් කියමි. ශිෂ්‍යයින් දේශපාලනය කළ යුතුය. ඒ වර්තමාන හා අනාගත ශිෂ්‍ය අයිතිවාසිකම් රැකගැනීම උදෙසා පමණක්ද නොවේ. රටේ ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් සුරැකීම උදසාදවේ. මහත් අසීරුකම් නිහඬවම විඳිමින්, නිදහස් අධ්‍යාපනයේ සියලු බරපැන නොපිරිහෙලා දරන පොදුජනතාව, රටේ බුද්ධිමත් පිරිස ලෙස ඔවුන්ගෙන් එය බලාපොරොත්තුවන බැවිනි.



එහිදී කිසිදු බලවේගයක් ඉදිරියේ දන නැමිය යුතු නොවේ. මර්ධනයන් හමුවේ පසුබැසිය යුතු නොවේ.(ප්‍රභාකරම්ගේ වියරු ඊළාම් සිහිනය අභියසදී අප රටේ තාරුණ්‍යය ජීවිත අවධානමක් ඇතැයි යුධ නොවැද අත් පොරවා බලා සිටියේ නම්??) වඩා වැදගත් වන්නේ එම ජාතික කාර්යභාරයේදී බුද්ධිමත් ක්‍රියාකාරීන් වීමයි. කුමන හෝ අන්තගාමී ව්‍යාපාරයක අතකොලු බවට පත්නොවී ජාතික අරමුණක් වෙනුවෙන් පෙරමග ගැනීමයි.



කෙටියෙන්ම කියතොත් ශිෂ්‍යයා "ශිෂ්‍ය දේශපාලනයක්" කළ යුතුවේ. එය පක්ෂ දේශපාලනය සමග පටලා නොගත යුතු වේ.



එවන් ශිෂ්‍ය ව්‍යාපාරයක ප්‍රතිඑල භුක්ති විඳීමට තරම් අප රටේ ජනතාව වාසනාවන්ත වේවා!!!

Comments

  1. කෙටියෙන්ම කියතොත් ශිෂ්‍යයා "ශිෂ්‍ය දේශපාලනයක්" කළ යුතුවේ. එය පක්ෂ දේශපාලනය සමග පටලා නොගත යුතු වේ.

    දහස් තාවක් එකගයි

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

හමස් පෙට්ටිය

කැකුළු තනේ අල්ලන්නේ පොඩි වෙන්ඩ.....!