සිහිනක් නොවූ අතීතය
මේ ෆොටෝ එක මීට කලින් දවසක හදිස්සියේ දැම්මට මොකද ඒත් එක්ක ගෑවිච්ච, අතීතය පළාගෙන මතු වෙවී හිත කොනිත්තන මතකයක් මේ වෙලාව වෙනකොටත් හිත කොනක පිනුම් ගහනවා. ඒ නිසා මේ සටහන ලියන්න ම ඕන කියල හිතුනා.
 අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ දකණු ගේට්ටුවට දකුණු පැත්තෙන් තිබුණ පරිගණක විද්‍යාගාරයට එහා පැත්තේ තිබුණ තාප්පය තමා අපේ කුරුබිලිය උනේ. තාප්පෙට උඩින් කටු කම්බි ගහල ආරක්ෂා කරල තිබුණත් අපේ රහස් මාර්ගය වහන්න ඒ උපක්‍රම ශක්තිමත් උනේ නෑ.
තාප්පෙට උඩින් කස්තිරම ගහල දැන් ඔය වික්ටරි රෝහල (යුධ හමුදා රෝහල) තියෙන පැත්තෙන් හැංගිලා පූජා නගරෙට පැන ගන්නවා. ගොඩක් වෙලාවට අපේ ප්‍රධාන ඉලක්කය උනේ ඉසුරුමුණිය විහාරය. බැතිමත්තු ඉතාම භක්තියෙන් පඬුරු වක්කරන, කම්බි දැල් වලින් වටකරපු තැනක් තියෙනවා ඒ ගල් පර්වතය මුදුනේ. ගියපු අය දන්නවා ඇති අන්ධ භක්තිකයෝ ආවේශයෙන් වගේ කාසී අතෑරියාට එතන තියෙන්නේ පුරාණ සෙල් ලිපියක්, ඒකේ ආරක්ෂාවට තමා ආවරණය කරල තියෙන්නේ. (අනේ අම්මපා මෙහෙමත් දානපතියෝ)
කම්බි දැල නිසා සල්ලි එළියට ගන්න මාර ගේමක් දෙන්න වෙනවා. අනෙක තියෙන කාලය ඉතා සීමිතයි. යුනිෆෝම් එක නිසා අපි ගැන අවධානය වැඩියි අනෙක් අයගේ. මුල දී එක එක උපක්‍රම අත්හදා බැලුවත් සාර්ථකම ක්‍රමයක් පස්සේ අපේ ටිකිරි මොළ වලට ආවා. කෝටු කෑල්ලක අග චුවින්ගම් එකක් අමුණලා ඒක දැල අස්සෙන් බැස්සුවාම ඒ කාසි ටික සාක්කුවේ තියෙනවට වඩා ෂුවර්.
රුපියලේ දෙකේ පහේ කාසි අවශ්‍ය පමණට (වැඩිය කඩන නරක ළමයි උනේ නෑ අපි) බිලී බා ගත්තට පස්සේ කට්ටිය හෙමීට සේන්දු වෙන්නේ තිසා වැවේ බන්ට් එක පා මුලට. නම දැන් මතකයේ නැති ඇන්ටි කෙනෙක් තමයි එතන පොට් එක හැන්ඩ්ල් කෙරුවේ. කෝප්පයක් 20 යි, බැදපු මාළුවෙක් 20 යි. දැන් කාලේ නම් කොල්ලෙක් කෙල්ලක් එක්ක වැව් බන්ට් එකේ කතා කර කර ගියත් පොලීසියට කෝල් කරන නොසන්ඩාලයෝ ඒ කාලේ හිටියේ නෑ. (හිටිය නම් අපිත් හැදිල ද මන්දා)
සප්පායමෙන් පස්සේ මඥ්ඥොක්කා පිඟානකටත් වග කියලා ඊළඟ පිම්ම තිසා වැවේ වෑ දිය නිල්ල ට. පැය 3 - 4 කට පස්සේ ඇස් ගෙඩි ගොරකා මද වගේ රතු කරගෙන හීතලේ ගැහි ගැහී ගොඩට එන්නේ එක ෂෝටකින් 7 - 8 දෙනෙක් නා ගෙන. ඊට පස්සේ ගොඩක් වෙලාවට පොදු වැඩසටහන ඉවර වෙලා එක එකාගේ පුද්ගලික න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරන්න (හප්පේ කොච්චර නම් වැඩ රාජකාරී ද? ) කට්ටිය සතුටින් සමාදානයෙන් විසිර යනවා.
#(මේ කියන්නේ 90 දශකයේ අග භාගයේ කථාවක්. දැන් හැදෙන එව්වෝ එහෙම මේවා කියවලා ක්‍රියාත්මක කොරන්න යනවා එහෙම නෙවෙයි ඕං. එක අතකට උඹලට කොහෙන්ද ඒවට වෙලාවක්. මීට වඩා දේවල් අද කාලේ උන් කොරනවා තමයි කියලා දැන් කියහල්ලකෝ, පිළිගන්නවා......පිළිගන්නවා.... හ්ම්ම්)

Comments

Popular posts from this blog

හමස් පෙට්ටිය

කැකුළු තනේ අල්ලන්නේ පොඩි වෙන්ඩ.....!

මිනිසා දේශපාලන සත්වයෙකි.......! එසේ නම් සරසවි ශිෂ්‍යයා?