වේදිකාවෙන් මහ පොළොවට ......!



රජරට වැව් බොහොමයක් දැන් රොන්මඩ පිරිලා ගොඩ වෙලා. පින්නටත් පිරෙනවා. හඳ එළියට ආයෙත් හිඳෙනවා. තියෙන ටිකෙත් ජපන් ජබර, සැල්වීනියා බෝ වෙලා අභාවයට ගිහින්....
පායන කාලෙට ගිනි කූටකේට පිච්චෙනවා. මෝසම් කාලෙට හැමදේම යට කරගෙන ගලන්න ගන්නවා. නියඟෙන් බැට කාලා ඉවර වෙනකොට ම ගංවතුර තර්ජනය පටන් ගන්නවා. ඒ අතර පතරින් සුළි සුළං කුණාටු හමන්නවා. මිනිස්සු හුඟ දෙනෙක් හිතාගෙන ඉන්නේ ඒක දෛවය විසින් තමන්ට දීපු උරුමයක් කියලා. අනෙක් පැත්තෙන් ඒකත් කරුමේ කියල හිතන්න ඔවුන්ට කවුරුහරි පුරුදු කරල....
වෙහෙරක් අහිමි වෙච්ච කෙනෙකුට අග්ගලයක් දීල වැඩක් නෑ. හරක් පට්ටියක් නැතිවෙච්ච කෙනෙකුට කෙවිටකින් වැඩක් නෑ. ඒත් රජයක් එහෙම කරන්න ඕන, ජනතාව වෙනුවෙන් නෙවේ, පැවැත්ම වෙනුවෙන්.
මේ දෙන්නේ තෑගි නෙවෙයි. දෙන්නේ මගේ සාක්කුවෙනුත් නෙවෙයි. මේක රාජකාරියක්. ඒ වෙනුවෙන් ආණ්ඩුවෙන් මට පැය අටකට ගෙවනවා. හැබැයි මම මිනිස්සු වෙනුවෙන් පැය දාසයක් වැඩ කරනවා. ඒකට ඒ මිනිස්සු මට ගෙවනවා. ඒත් ඒ සල්ලි වලින් නෙවෙයි, හිනාවෙන්, ආදරයෙන්, කරුණාවෙන්, ලෙන්ගතු කමින්.
ඒ නිසා ඔවුන් වෙනුවෙන් වගකීමට එහා ගිය යුතුකමක් හිතේ ඇඳෙනවා. මගේ සුව පහසු පුටුව ඉස්සරහ තියෙන දැවැන්ත මේසෙට ළං කරපු අමුත්තන්ගේ පුටුවට ඔවුන් කැඳවනවා වෙනුවට ඔවුනගේ කටුමැටි පැළට, ගොවිබිමට යන්න යටි හිතෙන් බලපෑමක් ඇතිවෙනවා. ඔවුන්ගේ් දහඩිය සුවඳ විඳින ගමන් ලැබෙන තැඹිලි ගෙඩියකට ලෝභ හිතෙන්න ගන්නවා....
ඉතින් මම වේදිකාවෙන් මහ පොළොවට බහින්න තීරණය කරනවා.......!
මහ විලචච්චිය සිද්ධාර්ත මහා විද්‍යාලය

Comments

Popular posts from this blog

හමස් පෙට්ටිය

කැකුළු තනේ අල්ලන්නේ පොඩි වෙන්ඩ.....!

මිනිසා දේශපාලන සත්වයෙකි.......! එසේ නම් සරසවි ශිෂ්‍යයා?