රකුසන් පුද දී මිනිසුන් සැනසෙනවා.......!

රන් හිරු මඩලින් සිහිලස අයදිනවා
පුන් සඳ පහනින් උණුහුම අයදනවා
ලෝකය බිහි වූ දා සිට අරුමෙකි මිනිසා
ගිරි හිස ඉඳුවර සොයමින් ලතැවෙනවා.......

සයුරේ පැන්පත සොයමින් වැළපෙනවා
කතරේ කෙන්බිම දකිමින් රැවටෙනවා
දිළිසෙන දිය රැළි මාලා
නෙත පුරවා නෙක මායා
මිනිසුන් හැමදා සිහිනෙක සැතපෙනවා........

ගමනේ මං පෙත දවසක නිම වෙනවා
ලද දේ කල කී දේ හිත හඩවනවා
නිවැරදි හැම සඟවාලා
වරදට මල්දම් දාලා

                                                         රකුසන් පුද දී මිනිසුන් සැනසෙනවා.....
...

v                             'සබ්බේ සත්තා උන්මත්තකා' කියල බුදුන් වහන්සේ කියල තියෙනවනෙ. ඉතිං ඉපදුන දවසෙ ඉඳල මනසින් මවාගත්ත ලෝකයක් ඇතුලෙ තමයි හැමෝම ජීවත් වෙන්නෙ. පිස්සෙකුටත් තියෙනව ලෝකයක්. ඒ ලෝකෙ ඇතුලෙ එයාගෙ හැම සිතිවිල්ලක්ම සංතර්පණය කරගන්නවා එයාටම ආවේනික රාමුවක ඉඳල. හැබැයි කවදාවත් පිස්සෙක් කියනවා මම අහල නෑ එයාට පිස්සු කියල. (හැම නිරෝගි මිනිහෙකුටම 6% ක් පිස්සු කියල සිග්මන් ප්‍රොයිඩ් කියලත් තියනවනෙ).

'නෙත පුරවා නෙක මායා -
මිනිසුන් හැමදා සිහිනෙක සැතපෙනවා'   

මනුෂ්‍ය සිත ඇතුලෙ තියන ඒ මුලාව ගීතයේ මේ කොටසින් මනාව මතුකෙරෙනව කියල මට හිතෙනව.

ඒ වගේම වනචාරි යුගයේ නෂ්ඨාවශේෂයන් විදියට මිනිස් සංතානය තුල පැලපදියං වෙලා තියන කුහකකම, මෝඩකම, බිය, කුතුහලය වගේ ප්‍රවේණික ගතිගුණ සමහරක් දිහා උපහාසයෙන් බැලීමක් මේ ගීතය ඇතුලෙ මට දැනෙනව.

රන්හිරු මඩලින් සිසිලස අයදින්නේත්, පුන්සඳ පහනින් උණුසුම අයදින්නේත් ගස්, ගල් , ගින්දර , සුළඟ ආදි ස්වාභාවික වස්තු වන්දනාවෙන් පිහිට පැතූ නොදියුණු මිනිස් මානසිකත්වයම
වෙන්න පුලුවන්. ඉබ්බෙකුගෙන් පිහාටු ඉල්ලීමක්  වැනි මෝඩකම් මෙහි ප්‍රතිඑල තමයි.

නිවැරදි සියලු දේ සඟවලා, වරදටම ආවැඩීමෙන් නොනැවතී රකුසන් පිදීමටත් මිනිසුන් පෙළඹෙන්නෙ අර මුලින් කිව්ව  කුහකත්වයයි බියයි  නිසා කියලයි මට හිතෙන්නෙ. අනෙක් අතට ඒක මෝඩකමකුත් වෙනවනෙ.

මුහුඳට වතුර ආවේ කොහොමද කියල හොයන එක මෝඩකමක් වෙන්න පුලුවන්. කොහෙන් ආවත් මුහුඳකට පැන් තොටක් වීමේ භාග්‍ය ඇහිරී ඇතුවා නොවේ ද?


'සයුරේ පැන්තොට සොයමින් වැළපෙනවා'
(මේ අදහස මම වැරදි තැනකින් අල්ලගෙන ද කියල නම් සැකයි)

ඒක හරිනම් ඒ මෝඩකම ඇතුලෙ තියන කුතුහලය කියන ගුණයට නම් මම පුද්ගලිකව කැමතියි. මොකද "මිනිසාගේ ලද දෙයින් සතුටු නොවී ඉන් වෙනත් දේ අපේක්ෂා කිරීමේ ගුණය නොවන්නට මිනිස් ශිෂ්ටාචාරය තවමත් ගල් යුගයේ වෙන්න තිබුණා.......

අවසාන වශයෙන් මේක ලස්සන ගීතයක්!
ස්තුතියි!


Comments

Popular posts from this blog

හමස් පෙට්ටිය

කැකුළු තනේ අල්ලන්නේ පොඩි වෙන්ඩ.....!

මිනිසා දේශපාලන සත්වයෙකි.......! එසේ නම් සරසවි ශිෂ්‍යයා?