“ප්‍රාචීණ ඛණ්ඩ රාජ්‍ය“ හෙවත් “සැදුම්කඩ‍ෙදාර“

“මහරජ ගැමුණු“ සිනමා නිර්මාණය ඔබ නැරඹුවා නම්, මේ එහි “මිත්‍ර“ සෙනවියා විසින් “නන්දිමිත්‍ර“ ගේ පියා මරා දමන ජවනිකාවට අදාල සත්‍ය සිදුවීම දිගහැරුණ ප්‍රදේශය.....!
------------------------------------------------------------------------------------------
නත්තල් නිවාඩුව සමඟ යෙදුන දීර්ඝ සති අන්තය ඈත වන්නියේ දී ගතකරන්න ඕන කියල ප්ලෑන් කළේ මාස කීපයකට කලින්ම ඉඳල. ඇත්තටම ඒක අතිශය නිස්කලංක පරිසරයක, කාලෙකට පස්සේ උපරිම නිදහසේ ගතකරපු සුන්දර නිවාඩුවක් උනා.


'උත්තර පස්ස' හෙවත් 'උත්තර දේශ' යනු ක්‍රි.පූ. යුගයේ දී පැරණි අනුරාධපුර රාජධානියේ උතුරු කොටස හැඳින්වූ නමක්. මෙයට අයත් වූ “වැව්-නිමාව“ නොහොත් වර්තමානයේ වව්නියාව නමින් හඳුන්වන, සිංහල රාජධානියේ සීමාව ලෙස පැවතුන කොටසේ පිහිටා තිබූ “ප්‍රාචීණ ඛණ්ඩ රාජ්‍ය“ එහෙමත් නැත්නම් “සැදුම්කඩ‍ෙදාර“ පුවර ගම්මානය කියන්නෙ ඓතිහාසිකව ඉතා වැදගත්, අපේ ඉතිහාසයේ සුවිශේෂි සුවිශාල පදාසයක් වසාගත් ප්‍රදේශයක්.
මේ පළාත තමයි දුටුගැමුණු රජතුමාගේ අභීත සෙන්පතියෙක් වෙච්ච “නන්දිමිත්‍ර“ යෝධ සෙනවියාගේ ජන්ම භූමිය.
මේ කොටස අද වෙනකොට අයිති වෙන්නේ වව්නියාව දකුණු (සිංහල) ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට. වව්නියාව ඉඳන් හොරොව්පොතාන පාරේ කි.මී.4 විතර ගියාම හම්බවෙන “වෙළිකුළම“ පොලිස් මුරපොලෙන් වම් පැත්තට තියෙන “මාමඩුව“ පාරේ ඇටඹගස්කඩ, මාමඩුව, මහකච්චකොඩිය පහුකරගෙන පදවිය පැත්තට කි.මී.20 ක් විතර යනකොට තමා මේ සුන්දර ගම්පියස හමුවෙන්නේ. පහුගිය එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී යුධ සමයේ කැළයෙන් යටවෙලා හුදෙකලා වෙලා තිබුණ මේ පෞරාණීක ගම්මානය, දැන් යුධ හමුදාව විසින් සංවර්ධනය කරනු ලදුව හා පුරාවිද්‍යාත්මක සංරක්ෂණය කිරීමකින් පස්සේ “නන්දිමිත්‍රගම“ නමින් නැවතත් පෞරාණික ශ්‍රී විභූතිය හා අභිමානය විරාජමාන කරමින් යෙහෙන් පවතිනවා එහි යන ඕන කෙනෙකුට බලන්න පුළුවන්.
ගම්මානය ආරම්භයේ ම වම් පැත්තේ තියෙනවා යුධ හමුදා විරුවන්ගේ දෑත්වලින් නිමවෙච්ච, සෙන්පති නන්දිමිත්‍ර ගේ “අති දැවැන්ත“ ප්‍රතිමාවක්. එය අවියට හුරු වූ දෑත්වල හැංගිලා තියෙන හෙළ කලා හසුරු කෞෂල්‍යයේ මනා කැඩපතක් කිව්වොත් අතිශයෝක්තියක් නෙවෙයි. ප්‍රතිමාවට දකුණු දෙසින් පාරේ විරුද්ධ පැත්තේ තියෙන්නේ මහ විශාල ගල් පර්වත පේළියක්. ඒ එ්රුපොතාන හා කිඹුලාගල කියන කඳුවැටි.
අපූරු අද්භූත පිහිටීමක් තියෙන මේ කඳු මත තියෙන්නේ අපේ ඉතිහාසය. අපේ උරුමය. කටාරම් කොටපු අපූරු ගල්ගුහා විශාල ප්‍රමාණයක් හා සෙල්ලිපි කීපයක් මේ පර්වත මත දකින්න පුළුවන්. මම හිතන්නෙ තවම කවුරුවත් හරිහැටි අධ්‍යයනයක් නොකළ, කාලයේ වැලිතලාවෙන් වැසුන වටිනා ඉතිහාසයක් මේ ගල් පර්වත අතරේ හිරවෙලා තියෙනවා. අනාගතයේ දවසක ඒ ස්වර්ණමය අතීතය මතුකරගන්නට තරම් අප පුණ්‍යවන්ත වේවා කියල ප්‍රාර්ථනා කරමින් අපි ආපහු එන්න ආවා.......!



Comments

Popular posts from this blog

හමස් පෙට්ටිය

කැකුළු තනේ අල්ලන්නේ පොඩි වෙන්ඩ.....!

මිනිසා දේශපාලන සත්වයෙකි.......! එසේ නම් සරසවි ශිෂ්‍යයා?